Tuesday, January 25, 2022

ඉලක්ෂ ජයවර්ධනයන්ගේ "දුවගේ චිත්‍රය" පිළිබඳ සරල විචාරයකි




 ළමයෙකුගෙ සිත තුළ පහළ වන සරල සොඳුරු සිතුවිල්ලක් සිතුවම් කිරීමට වෙර දරන කුඩා දියණියක් හා එම සිතුවමට සියුම් අරුත් එක් කරමින් එය තවත් හැඩ ගන්වන්නට වෙහෙසෙන පියෙක් ප්‍රස්තුතය කර ගනිමින් නුතන පරපුරේ ප්‍රතිභාපූර්ණ කවියෙකු වූ ඉලක්ෂ ජයවර්ධනයන් විසින් මෙම පද්‍ය පන්තිය රචනා කර ඇත.මෙය ඔහුගේ "කඩා වැටෙන තරුවක්" නම් කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.සරල බස් වහරකින් හා සඳැස් ආකෘතියෙන් හැඩ ගැන්වී ඇති "දුවගේ චිත්‍රය" නම් පද්‍ය පන්තිය පාඨක හද තුළ සියුම් සංවේදීතාවක් ඇතිකරවන්නට සමත් වී තිබේ.

සංකල්පරූප, ව්‍යංග්‍යාර්ථ,භාෂාව, නිසි ලෙස කැටි කොටගනිමින් සිය දියණිය සමඟ මෙලොව තනි වූ පියෙකුගේ හද තුළ නැඟෙන සිතුවිලි කවියා මෙලෙස දුවගේ චිත්‍රය තුළින් මුදාහරී.පරිසර වර්ණනා සමඟ ප්‍රේමය,තනිකම වැනි දෑ මුසු කරමින් කවියා සිය නිර්මාණයට මෙලෙස මුල පුරයි.

"අහසකට ලස්සනම ගෑවමයි දම් පාට

හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැ රෑට

දුවේ නුඹ දන්නවද දුරයි හඳ හාවාට

අදින්නට ඔනි නෑ ඒ නිසා ආවාට"

පෙම්වතුන්ගේ ලෝකය සැබවින්ම සුන්දර වූවකි.අවරගිරෙහි හිරු ගිලිහෙන යාමය ප්‍රේමණීය සිත්වල හැඟීම් අවුලුවන්නට කදිම තෝතැන්නකි.දියණිය සිතුවම අඳින මොහොතෙහි කවියා යම් අතීතාවර්ජනයක නියැලෙයි.අතීතයේ තමා විඳි ඒ සොඳුරු මොහොත අත්දැකීමක් කරගනිමින් සිය දියණියට පාටකූරු සොලවන්නට උපදෙස් දෙනු ලබන්නේ මෙපරිද්දෙනි.එමෙන්ම කවියා සිය බිරිඳ්ගේ මතකයන් තුළින් ඔහුගේ ලෝකය ආලෝකමත් කර ගැනීමට දරන සියුම් වෑයමක් "හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැ රෑට " යන පද්‍ය කොටසින් පිළිඹිබු වේ.ලබා ගත නොහැකි යමක් දුරින් ඉඳ හෝ බලා සැනසෙනවා විනා එයට යම් යම් අලංකරණයන් කැටිකොට සිත රවටා ගැනීම නිෂ්පල ක්‍රියාවක් බව කවියා පවසයි.තමා ළඟ නොමැති මව ජීවමාන ලෙස දැකීම අනර්ථයක් ලෙස පියා සිය දියණියට නොකියා කීමට උත්සහ දරයි.

අප දන්නා ආකාරයට සයුරත් ගගනත් වෙන්කර වමන්නේ ක්ෂිතිජ රේඛාවෙනි.නමුත් එය එලෙසම සිදුවේ ද? බැලූ බැල්මට ළංව ඇති බවක් පෙනුනද ළඟට යත්ම ඈත්වන අහසයි සයුරයි යනු කිසිදා එක් කල නොහැකි ලෝක දෙකක් බව කවියා පවසයි.මෙයින් ඔහුත් බිරිඳත් එකම කුටුම්භයක් තුළ නොව දෙලොවක් අතර තනි වී ඇතිබව සිතන්නට පාඨකයා පොළඹවයි.නමුදු මෙම ශෝකාන්තය තේරුම් ගැනීමට තරම් සිය දියණිය මෝරා නොමැත.ඒ බව ජයවර්ධනයන් මෙලෙසින් ගෙන හැර දක්වයි.

"චිත්‍රයට නගද්දී එක ළඟින් ඇන්දාට

අහස සයුරට දුරයි බර වැඩියි මගෙ දූට 

ගගනතේ මායිමේ නුඹ ඇදපු වපුලාට

ළඟින් තවකෙකු අඳිමු තනිය හොඳ නැහැ ඌට "

දියණිය ඇයගේ සිතුවම අලංකාර කරගැනීම උදෙසා වවුලෙකු චිත්‍රනය කරයි."ළඟින් තවකෙක් අඳිමු තනිය හොඳ නැහැ ඌට" එහෙත් පියා උපදෙස් දෙනු ලබන්නේ ඒ ළඟින් තවකෙකු අඳින ලෙසටය.මෙය ගැඹුරු ව්‍යංග්‍යාර්ථයක් ඉස්මතු කරවයි.කවියා විඳින තනිකම , පාළුව මනා ලෙස නිරූපණය කරමින් සිය සංවේදී හැඟීම් පිළිබඳව පාඩමක් ඇයට කියාදීමට ඔහු අහිංසක උත්සහයක නිරත වෙයි.

" ටීචරුත් ලකුණු දෙයි නොවන් බිය සංකාව

දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව"


දියණිය කිසියම් කුතුහලයකින් පසුවේ.පියා නොයෙකුත් ව්‍යංග්‍යාර්ථයන් ඉස්මතු කලද ළමා මනසට ඒවා හරිහැටි තෝරා බේරා ගැනීමට අසීරුය. නමුදු එය කනස්සල්ලට කරුණක් නොව තවත් අරුත්බර කතාවකට පටුනක් බව කවියා ඇයට ඒත්තු ගන්වමින් සිතුවමට යම් ප්‍රශංසාවක් ලබා දෙයි.

වැඩිහිටියන්ගේ ගැටළු  හමුවේ අසරණ වන්නෙ කුඩා දරුවන් ය. මෙහි එන පියාගේ බිරිඳ ඇයගේ මව ඔවුන් හැර ගොසින්ද   නොමැතිනම් ජීවතුන් අතර නොමැතිද යන වග කවියා නොපවසයි. මෙකී ගැටළුව හමුවේ සමාජය අභිමුඛ දරුවන් නිරුත්තර වන ප්‍රබල ප්‍රශ්නයකි.එහෙත් එවන් අපහසුතාවලින් සිය දියණිය බේරා ගැනීමට වෙර දරන පියෙකුගේ ස්වරූපය මින් ව්‍යංග්‍යාර්ථවත් වේ.

" චිත්‍රෙ අපි නොඇඳ ඉමු දුවේ අපි දෙන්නාව

එහෙම උනොතින් ළමයි හොයයි නුඹෙ අම්මාව"

මෙකී දියණිය ඇයගේ ලෝකය තුළ දකින්නේ පියා පමණි.මව ඇයට තරමක් ආගන්තුකය."අම්මා කෝ?" යනුවෙන් ලෝකයා එල්ල කරනා ප්‍රශ්න හමුවේ දියණියට යම් රැකවරණයක් ලබා දීමට පියෙකු දරන සියුම් ව්‍යායාමයකි. දිනෙක ඇය සියල්ල තේරුම් ගන්නා තුරු තාවකාලිකව ප්‍රශ්න හමුවේ ඔහු තබන කොමාවකි.

කාව්‍යකරණය සඳහා යොදාගෙන ඇති බස සරල ය.නමුදු ව්‍යංග්‍යාර්ථ බොහෝ ය.නූතන පරපුරේ කවියෙකු වුව ද සැබවින්ම ප්‍රතිභාපූර්ණ  ය. සංකල්පරූප මවමින් සංවේදී කතාවක් පාඨකයාගේ හද තුළ සිතුවම් කරන්නට ඉලක්ෂ ජයවර්ධනයන් ගත් උත්සහය මෙලෙසින් සාර්ථක කරගෙන ඇත.





අධ්‍යාපනය හා සංවර්ධනය



 "කොළඹට කිරි අපට කැකිරි "මෙම කියමන අප කවුරුත් අසා ඇති ප්‍රසිද්ධ ගැමි කටවහරකි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය දෙස බැලීමේදී මෙය හුදෙක් කටවහරට එහා ගිය ගැඹුරු අරුතක් නිරූපණය කරයි. ආධ්‍යාපනය, සෞඛ්‍යය , සන්නිවේදනය , යටිතල පහසුකම් ආදී කුමන අංශයක් ඔස්සේ විමසා බැලීමේදී උක්ත කී කරුණ හුදෙක් කටවහරක්ම පමණක්ම නොවන බව පැහැදිලි වේ. වත්මන් අධ්‍යාපනය ගත් කළ රටේ සෑම දරුවෙක් අතරම සමානව විහිදී ගොස් තිබේද? පිළිතුර වශයෙන් මාගේ මතය නම් නැත යන්නයි. සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා රෝපණය කළ නිදහස් අධ්‍යාපනය නැමති වෘක්ෂයේ අවසන් පත්‍රයද සිඳී යාමට ඇත්තේ ඉතා අල්ප කාලයක් පමණි.ඒ වෙනුවට කුලී අධ්‍යාපන ක්‍රමයක් රෝපණය වී පිලළයක් මෙන් දසත විසිරී අවසානය. ඇති හැකි උදවිය නෑ බෑ නොකියා සිය දරුවා  පෞද්ගලික පන්තියකට හෝ යොමු කර ඉගැන්වීම් කටයුතු කරන යුගයක කුසට නිසි අහරක් නොමැතිව ඉතා කටුක ලෙස අකුරු ඇහිඳින්නට වෙර දරන දරුවන්ද , ආසියාවේ ආස්චර්‍යමත් රටක් ලෙස දේශපාලඥයන් කියනා මේ රට තුළද 21 වන සියවස තුළද නැතුවාම නොවේ..වැඩ කරන ජනතාවට, ඉහළ පාන්තිකයන්ගේ භාෂාවට අනුව පහළ කම්කරු පාන්තිකයන්ට ඔවුන්ගේ දරුවන්ට ඔවුන් සිටින සමාජ තත්ත්වයෙන් හිස එසවීමට රුකුළක් වූ නිදහස් අධ්‍යාපනය වාණිජකරණය නම් වූ බඳුන මත ඉතා අධික මිලකට වෙන්දේසි වන මෙවන් කලෙක එදා වේල සරි කරගන්නා පහළ පාන්තිකයන්ගේ දරුවනට ඔවුන් සොයනා සැපත ලඟා කර ගැනීම කණ කැසිබෑවා විය සිදුරෙන් අහස බලනවාක් මෙන්  ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්වන දිනය වැඩි ඈතක නොවේ..කලකට හතු පිපෙන්නාක් මෙන් තැනින් තැන ඇතැම් කාලවල ඇසෙන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන ලද මුදල් සංචිතවල ගණන් මිනුම්, ඔවුන් සිදුකලා යැයි කියන ඒ අධ්‍යාපනික සංවර්ධනය සැබවින්ම  ඉතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වල දරුවන්ට උරුම වුණිද?.ඔවුන් ඒ පැවසූ සංවර්ධනය රෝද හතරෙන් ගොස් ගෙයි දොරකඩම බැසිය හැකි ප්‍රදේශ වලට පමණක් සිදු කර තිබීම සාධාරණ ද?

ඔවුන් පැවසූ සංවර්ධනයේ තරම වර්තමානයේ පැන නැඟුණු කොරෝනා වසංගතය හමුවේ අධ්‍යාපන පද්ධතිය මුහුණ පෑ ඉතා දුෂ්කර කාලසීමාව තුළ සැකහැර   දැනගැනීමට අපට හැකිවිය.ලෝකයේ රටවල් 4G,5G,සන්නිවේදන තාක්ෂණය අතික්‍රමණය කර 6G තාක්ෂණය භාවිතය පිළිබඳ අවධානය යොමු කර ඇති යුගයක මෙරට තුළ මාර්ගගත අධ්‍යාපනය හැදෑරීමට අවම වශයෙන් ජංගම දුරකථනයක් හෝ නොමැති දරුවන් කොතෙකුත් සිටියාද? උපාංග තිබුනද ගස් ගල් උඩ නැග අවශ්‍ය සිග්නල් සෙවූ දරුවන් කොතෙකුත් සිටියාද?  දහස් ගණනින් අහිංසක ජනතාවගේ බදු මුදල් වැඩිකර සංවර්ධනය කළා යැයි කියන රටක මෙවන් ප්‍රදේශයක එකදු පහසුකමක්වත් නොමැති වීම හාස්‍යට කරුණකිලක්ෂ ගණනින් මුදල් වියදම් කර වල් බිහිවීමට තැනූ ක්‍රීඩා පිටි, ගරා වැටීමට තැනූ ගුවන් තොටුපොළවල් වෙනුවට ග්‍රාමීය ප්‍රදේශයක අංගසම්පූර්ණ එක පාසලක් නිර්මාණය කළානම් අද වන විට වියතුන් සිය ගණනක් මේ ලක් දිව තුළ බිහිවීමට හැකිවනු ඇතමා අවධාරණය කලේ සංවර්ධනය මුවාවෙන් වැසුණු වසා දැමූ එක් අංශයක තතුවලින් ඉතා සුළු කොටසක් පමණි.නමුත් මෙවන් අක්‍රමිකතා විශාල වශයෙන් ඉතා දීර්ඝ කාලයක සිට රට පාලනය කල උදවිය සුදු හුණු ගා වසා දමා ඇත. අවසාන වශයෙන් විය යුත්තේ මෙයයි. අප දන්නා කාලයක සිට මේ රට සංවර්ධනය වෙමින් පවතින රටකි..එය ඉදිරියටත් එසේම වනු ඇත.එයින් කම් නැත. නමුත් අනිසි සංවර්ධන ක්‍රියාවලින් වෙනුවෙන් යොදවන මුදල් රටේ අනාගත අස්වැන්න වෙනුවෙන් ආයෝජනය කිරීමට හැකිනම් එය මෙතුවක් කල් අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් කරන    සමාජ මෙහෙවරකි


(ඡායාරූප උපුටාගැනීම අන්තර්ජාලයෙනි)

Monday, January 24, 2022

ජී.ඒච් පෙරේරා කිවිදුනගේ " පරළොවට පණිවිඩයක්.. "කාව්‍ය පංතිය පිළිබඳව කෙරෙන සාහිත්‍ය විචාරය

 පරළොවට පණිවිඩයක්..

 "නිගාවකි කළු හමට - නිවටුන්ට පරගැති

 විහිළුවකි හෙළ සිරිත - අමනුන්ට ඔළු නැති

 කලාවකි මුර ගෑම - නොරටුන්ට පරගැති 

විනාශය මෙයයි වූ - සිහලකම දන්නැති"

                                                                                                                                             

      දේශයේ විමුක්තිය නොදැන ජාතියේ පරගැතිභාවයට පිඹුරුපත් සැකසූ නොරටුන් සරාණ ගිය පිටකොඳු බිඳගත් නිවටුන් පිළිබඳ තැබූ සටහනක් ලෙසින් ජී.එච්.පෙරේරා කිවිඳුන් විසින් රචනා කරන ලද " පරළොවට පණිවිඩයක් " පබදුම හඳුන්වා දිය හැකිය.කලු හම නිගාවක් සේ සලකන සුදු හමට ගැතිකම් කරන්නෝ අද මෙන්ම එදාද වූහ.ඉංග්‍රීසි වදනක් මුවග තවරාගත් පමණින්ම ඔවුහු කලු සුද්දෝ වූහ.හෙළ සිරිතට විරිතට බසට ගුණදහම දෙස පිළිකුලින් බැලූ ඔවුහු බටහිර සිරිත සංස්කෘතිය උතුරු සළුවක් කරගත්හ. කවියා පබඳුමට වස්තුවිෂය කරගත්තේ උක්ත කී සමාජ පරිහානියයි.කවියාගේ අරමුණ වූයේ පරලොව සිට මෙදෙස උපදින්නට බලාසිටින උදවියට ගුණදහම් බිඳගත් වල්සිරිත් වැළඳගත් කලු සිංහලයන්ගේ අධිරාජ්‍යවාදී ගැතිකම හාස්‍ය රසයෙන් යුක්තව කියාපෑමයි.

"රට බොහොම අසාරයි ඉන්නවුන්ගෙත් විකාරයි

 පිට ඔපයට සූරයි කම්මැලියි බාරදූරයි

 අටපහ නොම තේරෙයි වල්සිරිත් පාර බේරෙයි 

පිට රටටා වදාරයි කාපු දේවත් වමාරයි"

සිලෝකාව්‍ය ආකෘතියෙන් හැඩගන්වන ලද මෙම කව පරගැතිභාවයේ පලමු සටහන අප හමුවේ තබන්නේ මෙලෙසිනි.රට අසාරත්වය වැළඳගෙන ඇත.මිනිසුන්ගේ විකාර පැවැත්ම පිට ඔපය, අලසකම මේ පරිහානියට මුල් වූ ප්‍රධාන කරුණයි.කවියා උපහාසාත්මකව පහර ගසන්නේ මේ දුසිරිත වැළඳ්ගෙන සුදු හමට වන්දනා කරන නිවට සිංහලයන්ටය. "අට පහ නොම තේරෙයි වල් සිරිත් පාර බේරෙයි " කවියා මෙයින් සංකේතවත් කලේ අටසිල් පන්සිල් නොදැන වල්සිරිත් කරපින්නගෙන  සිල් බඳගත් සිංහලයන්ගේ පරාජිත භාවයයි.."පිට රටටා වදාරයි කාපු දේවත් වමාරයි"  යන කව්‍යෝක්තියෙන් පෙරේරා කිවිඳුන් නිර්ධය ලෙස දේශයේ පරගැතිභාවයට පහර ගසයි.මේ පණිවිඩය ලබා දෙන්නේ පරළොව සිට මෙදෙස උපදින්නට බලා හිඳින අයට වීමෙන් කවියා මතක් කර දෙන්නේ එදා මෙදා තුර දේශීය සංස්කෘතියට අත් වී ඇති හානියේ බරපතළ කමයි.

ජී.එච්.පෙරෙරාගේ කාව්‍ය දෘෂ්ටිය පාඨක විමර්ශනයට කරන ඇරයුමක් වැනිය.පරාදීන බව මුල් කරගෙන ජාතියේ උතුම් බව නසාගත් සිංහල ජාතිය පිළිබඳව කවියා තුළ පහළ වන අපුල සිතුවිල්ල කවි පෙළෙන් මනාව මතු වේ. අතීත වැසියන්ගේ ගත මෙන්ම සිතද උසස් ය. නොරටුන්ට ආවඩමින් බඩ වියත රැක ගන්නා ගෝස්තරවාදී ආකල්ප ඔවුන් තුළ නොවීය.නූතනයේ සියල්ල විපරිතව පිටරටට අනුපාත නිවට නියාලු ගතිය කවියාගේ සිතුවිල්ලට මැනවින් හසුකරගෙන ඇත.

"ගත සිත නැත උස්සා ආදි ඇත්තන් විලස්සා

 එයිනි නොරට වැස්සා ගෙන් හිඟාකෑම රිස්සා

 පුටුව පිටම රස්සා වෙන්ට නම් සී පරිස්සා 

විය යුතුය සුදුස්සා වී මෙහේ එන්න ලිස්සා"

 පෙරේරා කිවිඳුන් සිය උපහාසය හා කවි රසය මනාව හසුරුවා ගනිමින් එය රචනා කරන්නට සමත් වී තිබේ.කවියේ ඉස්මතු වන රිස්සා, උස්සා, වැස්සා, ලිස්සා වැනි අනුප්‍රාසාත්මක යෙදුම් මීට නිදසුන් ය. මෙහිදී කවියා ශබ්ද රසය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. එමෙන්ම ඔහු කවි රසය සමඟ සමාජ දෘෂ්ටියද සෙමින් සෙමින් දිග හරින්නේ අප හද තුළද ජාතියේ පරගැතිභාවය පිළිබඳව සැබෑ කම්පනයක් ජනිත වන ලෙසටය.එදා මෙන්ම අදද සිහල බස, පාලිය,සංස්කෘතිය බැහැර කර විදෙස් බව මුදුන් මල්කඩක් සේ හිසින් දරා සිටිනා අය නැතුවාම නොවේ.පෙරේරා කිවිඳුන්ගේ විරෝධාකල්පය මනා සංයමයකින් යුක්තව කවි සංකල්පනාවක් ලෙසින්  දක්වන්නේ  ඉහත පරිද්දෙනි.

"සිහල බස කමක් නෑ ඒ උගැන්මෙන් පලක් නෑ 

ඉහල ගිය කෙනෙක් නෑ ඉන් සකුත් පාලි කම් නෑ "

කවියා සිය දෘෂ්ටිය වත්මන් සමාජයට ද මුදා හරී.සිහල බස මරන හරි හැටි ඉංග්‍රීසි ද නොදන්න සිංහලයන්ගේ අල්ප බුද්ධිය කවියා උපහාසයට නගයි.

 "සිහල සිරිත දැන්නම් තුට්ටුවක් නෑ වටින්නේ

 කලු හම ලැබුනෝතින් වෙන්නෙ ඔක්කොම පාඩුයි

 ඔළු ගෙඩි බිම ගස්සා කාගෙනුත් ගන්ට පූජා

 හම සුදුවට නැත්තම් සායමක්වත් ගෙනෙල්ලා"

 තුට්ටුවක් යන වචනය ප්‍රස්තුතයට උචිත ලෙස කවියා යොදා ගනී.තුට්ටුව යනු අතීතයේ පැවති අඩු මූල්‍ය වටිනාකමයි.හෙළ සංස්කෘතිය නිවට සිහලුන් අඩු වෙන්දේසියක තබා ඇති බව කවියා පවසන්නෙ මෙපරිද්දෙනි.කලු හම පහත් කොට සැලකූ ඔවුන් සුදු හම උසස් කොට සැලකූහ..මෙය කවියා උපහාසාත්මකව හෙළා දකී.

 පෙරෙරා කිවිඳුන්ගේ මේ සමාජ දෘෂ්ටිය කාලීනව ගැළපෙන කාව්‍යක් ලෙස අගය කල හැකිය.සරල බස් වහරකින් ගැඹුරු සමාජ දෘෂ්ටියක් කියාපාන්නට පෙරෙරා කිවිඳුන් ගත් උත්සහය මෙලෙස සාර්ථක වී ඇත.


Wednesday, January 19, 2022

අමුතු පෙමක්....

 

මම ඇඬූ විට නුඹ සිනාසෙන

මම සිනාසෙන විට නුඹ හඬන්නට සැරසෙන

අරුමයකි මට නම් අපේ මේ පෙම් කතාව

දකින්නට  ආසයි නුඹෙ සොඳුරු සිනහව 

ගෙනෙයි සුවයක් නුඹෙ කිකිණි හඬ

දුරින් හිඳ පෙම් කරන මට නැතත් නුඹෙ පහස

අවැසිමයි ලෝ සතට ඒ සොඳුරු සිත් මිහිර

ඇහැකි මට විඳගන්න

ලෝ සතුගෙ සතුට දැක 

නුඹේ ඔය ආදරය ...

තවකෙකුගෙ සතුට වෙනුවෙන් 

සිනාසෙන්නට වරම් ඉල්ලන

නුඹ වෙනුවෙන්,

හැමදාම නොවුනත්, හඬන්නම් මම අවැසි වෙලාවක

ලොවට රහසක් වූ අපේ පෙම් කතාවේ

හැමදාම වෙන්නම් මම අඳුරු වැහි වලාකුළ..

ලතාවට ගලා බසින ගං කොමළියට 

දුරින් හඳ පෙම් බඳින..

 

මුහුණු පොතටම මූණ ඔබාගෙන

දවස තිස්සෙම උඩ පහළ යන

වරෙක සිනාවෙන, විටෙක අඬන

තවත් වරෙක නටන ගයන රවන බනින

බිසී කියා රඟන දනන් අභිමුඛ 

කොතරම් මිහිරි තනු වැයුවත්

 යථා ලෝකයක සිට නුඹ 

එකම එක ලයික් එකක්

එකම එක කොමෙන්ටුවක්

ගන්නට අවැසි නම් 

වේවි නුඹටත්

 අතත්‍ය ලෝකයේ ගිණුම් හිමියෙකු වන්නට....

ජීවිත කවිය...

 

ජීවිතය දුකයි.. බොහෝ විට දුක දැනෙයි

හදවතට පෙර සේම.. නොනවතින හද ගැස්ම

රිද්මයට කදුළු ගලා ඒයි

නොදැනීම..

විටෙක සතුට ද විටෙක දුක ද 

කියා නිම කළ නොහැකි

ලියා අවසන් නොවූ

දුක් කවියක් වේ ...මගේ ජීවිතය

සිත් ගඟුලේ ගිලෙන විට

කරදර බාධක ජය ගෙන

ඉදිරියට යා යුතු බවත් හැඟේ

නොපමාව හඬ නගා ලොවට කියන්නම්

අනාගතයේ හිමි වන දෙය මටම වන බැවින්

 කටයුතු කළ යුතු බවත්, ජීවිතය කුමක්ද කියාත්, තේරුම් ගතිමි..

සතුට වෙනුවෙන් ගයනෙමි,

ජීවිතය කවියක් ලෙස...



Wednesday, January 5, 2022

පැනයට පිළිතුරක්

 ප්‍ර:  සුළඟටම පෙම් බැඳ

       සුළං අතටම හැරුනාට 

       සිතුවාද...

        නුඹව දක්කාන යන

        විසල් රළකුත් ඇති වග

පි:   රුවලක් ලෙසින් නිම වුනානම් 

       පෙම් බැඳිය යුතුමය  පවනට

       රළ පහර මඟ බලන් සිටියත්

       පෙනී නොපෙනී යා යුතුමය

ප්‍ර:   අහිකුණ්ඨක තැනගෙ

       නලා හඬට නැටුවාට

       සිතුනේම නැතිද

       නුඹෙ පරපුරේ උන්

       බුදුන්ටත් සෙවන දුන් වග

පි:   බුදුන්ටත් සෙවන දුන් මුචලින්දලා සිටියාට

       බණ කියන බණ අහන දනන් සිටිනා රටක

       කිලි කියා උඩ මලුව තහනම් කලෙක ගැහැණුන්ට

      සැපින්නක වූ මම

      වයන පදට නටනවා හැර

      දොහොත් මුදුන් දී වැදිය හැකිද

       උතුම් තේවා හඬට.... 


        ලෝ දම මෙයයි

         උරුම කම් බොහෝමයි

         දිනෙක තතු දුටුවත් 

         උඩුගං බලා යා නොහැකියි...

                         ....චමිලා







      









  නිසංසලේ ගං ඉවුරක  බොරළු ඇනෙන පුලින බිමක   සඳ නැග එන එක් යාමෙක  දොඩමළු වූවා මතකද  නුඹත් මමත් පාළු රැයක  ජීවිතයම ළඟින් ඉන්න  දුන් පොරොන්දු අ...