Tuesday, January 25, 2022

ඉලක්ෂ ජයවර්ධනයන්ගේ "දුවගේ චිත්‍රය" පිළිබඳ සරල විචාරයකි




 ළමයෙකුගෙ සිත තුළ පහළ වන සරල සොඳුරු සිතුවිල්ලක් සිතුවම් කිරීමට වෙර දරන කුඩා දියණියක් හා එම සිතුවමට සියුම් අරුත් එක් කරමින් එය තවත් හැඩ ගන්වන්නට වෙහෙසෙන පියෙක් ප්‍රස්තුතය කර ගනිමින් නුතන පරපුරේ ප්‍රතිභාපූර්ණ කවියෙකු වූ ඉලක්ෂ ජයවර්ධනයන් විසින් මෙම පද්‍ය පන්තිය රචනා කර ඇත.මෙය ඔහුගේ "කඩා වැටෙන තරුවක්" නම් කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.සරල බස් වහරකින් හා සඳැස් ආකෘතියෙන් හැඩ ගැන්වී ඇති "දුවගේ චිත්‍රය" නම් පද්‍ය පන්තිය පාඨක හද තුළ සියුම් සංවේදීතාවක් ඇතිකරවන්නට සමත් වී තිබේ.

සංකල්පරූප, ව්‍යංග්‍යාර්ථ,භාෂාව, නිසි ලෙස කැටි කොටගනිමින් සිය දියණිය සමඟ මෙලොව තනි වූ පියෙකුගේ හද තුළ නැඟෙන සිතුවිලි කවියා මෙලෙස දුවගේ චිත්‍රය තුළින් මුදාහරී.පරිසර වර්ණනා සමඟ ප්‍රේමය,තනිකම වැනි දෑ මුසු කරමින් කවියා සිය නිර්මාණයට මෙලෙස මුල පුරයි.

"අහසකට ලස්සනම ගෑවමයි දම් පාට

හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැ රෑට

දුවේ නුඹ දන්නවද දුරයි හඳ හාවාට

අදින්නට ඔනි නෑ ඒ නිසා ආවාට"

පෙම්වතුන්ගේ ලෝකය සැබවින්ම සුන්දර වූවකි.අවරගිරෙහි හිරු ගිලිහෙන යාමය ප්‍රේමණීය සිත්වල හැඟීම් අවුලුවන්නට කදිම තෝතැන්නකි.දියණිය සිතුවම අඳින මොහොතෙහි කවියා යම් අතීතාවර්ජනයක නියැලෙයි.අතීතයේ තමා විඳි ඒ සොඳුරු මොහොත අත්දැකීමක් කරගනිමින් සිය දියණියට පාටකූරු සොලවන්නට උපදෙස් දෙනු ලබන්නේ මෙපරිද්දෙනි.එමෙන්ම කවියා සිය බිරිඳ්ගේ මතකයන් තුළින් ඔහුගේ ලෝකය ආලෝකමත් කර ගැනීමට දරන සියුම් වෑයමක් "හඳත් අයිනෙන් අඳිමු එය නැතුව බැහැ රෑට " යන පද්‍ය කොටසින් පිළිඹිබු වේ.ලබා ගත නොහැකි යමක් දුරින් ඉඳ හෝ බලා සැනසෙනවා විනා එයට යම් යම් අලංකරණයන් කැටිකොට සිත රවටා ගැනීම නිෂ්පල ක්‍රියාවක් බව කවියා පවසයි.තමා ළඟ නොමැති මව ජීවමාන ලෙස දැකීම අනර්ථයක් ලෙස පියා සිය දියණියට නොකියා කීමට උත්සහ දරයි.

අප දන්නා ආකාරයට සයුරත් ගගනත් වෙන්කර වමන්නේ ක්ෂිතිජ රේඛාවෙනි.නමුත් එය එලෙසම සිදුවේ ද? බැලූ බැල්මට ළංව ඇති බවක් පෙනුනද ළඟට යත්ම ඈත්වන අහසයි සයුරයි යනු කිසිදා එක් කල නොහැකි ලෝක දෙකක් බව කවියා පවසයි.මෙයින් ඔහුත් බිරිඳත් එකම කුටුම්භයක් තුළ නොව දෙලොවක් අතර තනි වී ඇතිබව සිතන්නට පාඨකයා පොළඹවයි.නමුදු මෙම ශෝකාන්තය තේරුම් ගැනීමට තරම් සිය දියණිය මෝරා නොමැත.ඒ බව ජයවර්ධනයන් මෙලෙසින් ගෙන හැර දක්වයි.

"චිත්‍රයට නගද්දී එක ළඟින් ඇන්දාට

අහස සයුරට දුරයි බර වැඩියි මගෙ දූට 

ගගනතේ මායිමේ නුඹ ඇදපු වපුලාට

ළඟින් තවකෙකු අඳිමු තනිය හොඳ නැහැ ඌට "

දියණිය ඇයගේ සිතුවම අලංකාර කරගැනීම උදෙසා වවුලෙකු චිත්‍රනය කරයි."ළඟින් තවකෙක් අඳිමු තනිය හොඳ නැහැ ඌට" එහෙත් පියා උපදෙස් දෙනු ලබන්නේ ඒ ළඟින් තවකෙකු අඳින ලෙසටය.මෙය ගැඹුරු ව්‍යංග්‍යාර්ථයක් ඉස්මතු කරවයි.කවියා විඳින තනිකම , පාළුව මනා ලෙස නිරූපණය කරමින් සිය සංවේදී හැඟීම් පිළිබඳව පාඩමක් ඇයට කියාදීමට ඔහු අහිංසක උත්සහයක නිරත වෙයි.

" ටීචරුත් ලකුණු දෙයි නොවන් බිය සංකාව

දැන් හරිම ලස්සනයි වෙරළ ළඟ හැන්දෑව"


දියණිය කිසියම් කුතුහලයකින් පසුවේ.පියා නොයෙකුත් ව්‍යංග්‍යාර්ථයන් ඉස්මතු කලද ළමා මනසට ඒවා හරිහැටි තෝරා බේරා ගැනීමට අසීරුය. නමුදු එය කනස්සල්ලට කරුණක් නොව තවත් අරුත්බර කතාවකට පටුනක් බව කවියා ඇයට ඒත්තු ගන්වමින් සිතුවමට යම් ප්‍රශංසාවක් ලබා දෙයි.

වැඩිහිටියන්ගේ ගැටළු  හමුවේ අසරණ වන්නෙ කුඩා දරුවන් ය. මෙහි එන පියාගේ බිරිඳ ඇයගේ මව ඔවුන් හැර ගොසින්ද   නොමැතිනම් ජීවතුන් අතර නොමැතිද යන වග කවියා නොපවසයි. මෙකී ගැටළුව හමුවේ සමාජය අභිමුඛ දරුවන් නිරුත්තර වන ප්‍රබල ප්‍රශ්නයකි.එහෙත් එවන් අපහසුතාවලින් සිය දියණිය බේරා ගැනීමට වෙර දරන පියෙකුගේ ස්වරූපය මින් ව්‍යංග්‍යාර්ථවත් වේ.

" චිත්‍රෙ අපි නොඇඳ ඉමු දුවේ අපි දෙන්නාව

එහෙම උනොතින් ළමයි හොයයි නුඹෙ අම්මාව"

මෙකී දියණිය ඇයගේ ලෝකය තුළ දකින්නේ පියා පමණි.මව ඇයට තරමක් ආගන්තුකය."අම්මා කෝ?" යනුවෙන් ලෝකයා එල්ල කරනා ප්‍රශ්න හමුවේ දියණියට යම් රැකවරණයක් ලබා දීමට පියෙකු දරන සියුම් ව්‍යායාමයකි. දිනෙක ඇය සියල්ල තේරුම් ගන්නා තුරු තාවකාලිකව ප්‍රශ්න හමුවේ ඔහු තබන කොමාවකි.

කාව්‍යකරණය සඳහා යොදාගෙන ඇති බස සරල ය.නමුදු ව්‍යංග්‍යාර්ථ බොහෝ ය.නූතන පරපුරේ කවියෙකු වුව ද සැබවින්ම ප්‍රතිභාපූර්ණ  ය. සංකල්පරූප මවමින් සංවේදී කතාවක් පාඨකයාගේ හද තුළ සිතුවම් කරන්නට ඉලක්ෂ ජයවර්ධනයන් ගත් උත්සහය මෙලෙසින් සාර්ථක කරගෙන ඇත.





No comments:

Post a Comment

  නිසංසලේ ගං ඉවුරක  බොරළු ඇනෙන පුලින බිමක   සඳ නැග එන එක් යාමෙක  දොඩමළු වූවා මතකද  නුඹත් මමත් පාළු රැයක  ජීවිතයම ළඟින් ඉන්න  දුන් පොරොන්දු අ...