Saturday, January 29, 2022


 නිසංසලේ ගං ඉවුරක 

බොරළු ඇනෙන පුලින බිමක  

සඳ නැග එන එක් යාමෙක 

දොඩමළු වූවා මතකද 

නුඹත් මමත් පාළු රැයක 


ජීවිතයම ළඟින් ඉන්න 

දුන් පොරොන්දු අමතකයිද

මගෙ ලෝකෙන් අයින් වෙන්න 

හේතුව මට කියා දෙන්න


උනු වරදට සමාවෙලා 

අහසේ තරු කැට ගනින්න

සඳත් එක්ක කවි ගොතන්න

පුළුවන් නම් ඇවිත් යන්න....





ජී.බී.සේනානායකයන්ගේ "රුව දැකීම "පද්‍ය පන්තිය පිළිබඳව කෙරෙන කෙටි විචාරය

 


සාම්ප්‍රදායික සිංහල සැදැස් ආකෘතියේ ගතානුගතික රාමුව බිඳ දමා එයට නිසඳැස් නම් නැවුම් ආකෘතියක් ඉදිරිපත් කල කවියෙක් ලෙස ජී.බී.සේනානායකයන් හඳුන්වා දිය හැකිය.ඔහුගේ රුව දැකීම නම් කවි පෙළ නිර්මාණය වන්නේ මෙකී නිසඳැස් ආකෘතියෙනි.මොහුගේ නිර්මාණයන්  බොහෝමයක් මනෝවිශ්ලේෂණාත්මක හැඩයක් ගනී.වචනාර්ථයට හසු නොවී ගැඹුරු ව්‍යංග්‍යාර්ථයක් දනවමින් රචනා කර තිබීම පාඨක විමසුමට මෙන්ම රසවින්දනයටද බඳුන් වේ.

මීට තේමාව වන්නේ එවන් මනෝමය වස්තු බීජයකි.මිනිස් සිත වනාහී කිසිවකින් තුටු නොවන අතෘප්තිකර දෙයකි.එය හුදෙක් ආශාවන් පසුපස හඹා යන්නකි.පුද්ගල මනසේ ඇති මේ ගතික ස්වරූපය මනා සංයමයකින් යුතුව ජී.බී.මතුකර දක්වන්නේ මෙලෙසිනි.

"රන් හැට්ටය හැඳ 

රන් පටියෙහි දිග කඩුව බැඳ 

අසුපිට නැඟුණු කුමාරයා 

ගම් නියම්ගම් රාහධානී 

පසුකොට හියේ ය."

දෘශ්‍යගෝචර කවි බසකින් කවියා පාඨක අපතුළ රසවත් කවි සංකල්පනාවක් නිමවයි. නිසඳැස් ආකෘතිය තුළ සිය කවි සිතුවිලි වලට නිදහසේ ගලායන්නට කවියා ඉඩහසර ලබා දී ඇත්තේ පාඨක අප තුළද සියුම් රසයක් ජනිත වන ලෙසිනි.රන් හැට්ටය ,රන් පටිය , දිග කඩුව , වැනි යෙදුම් සංකේතාත්මකය.ඉහළ සුකුමාර ජීවිත ගෙවන ධනේශ්වර සමාජයේ පුද්ගල ප්‍රතිරූපයක් කවියා මේ තුළින් ධ්වනිථර්තවත් කරයි.සුඛෝපභෝගී ජීවිත ගෙවන කුමාර සැප වළදන ඔවුන්ගේ ගමන් බිමන් අශ්ප ගමනින් යුතුය.එමඟින් ජී.බී.සංකේතවත් කළේ මහපොළවේ පය  නොගසා ජීවත් වන මිනිසුන්ගේ සාටෝපමත් පැවැත්මය.

නිසදැස් කවිය තුළ හිඳ ජී.බී. මුදාහරින කාව්‍ය දෘශ්ටිය ගැඹුරු මනු දහමක් පිටපත් කරන්නක් බඳුය.ඔහු පස් වසක් දුර ගමන් කරයි.ඒ අවි ගැගෙන යුද්ධයකට නොව ලෞකික සෞන්දර්ය හා ගැටෙන මානසික යුද්ධයකටය.පස්වසක් ගමන් කළ ඔහු සිත් දිනු ලොව  සොඳුරු සිතැත්තිය විවහා කරගන්නේ එහි ඵලයක් ලෙසට ය. 

" පස්වසක් ගමන් කළ ඔහු

විවහා කරගත් කුමරිය ගෙන ඒමට 

තවත් පස් වසක් ගත විය"

කවියාගේ මෙම දෘෂ්ටිය පාඨක හද කැළඹීමකට ලක් කරයි ලෞකික සුන්දරත්වයෙන් කුමරු ලෝකය දිනා ඇත. එහෙත් විවහා කරගත් කුමරිය ගෙන ඒමට තවත් පස් වසක් ගත්වූයේ මන්දැයි පාඨක යටි සිත ප්‍රශ්න කරයි.ඊට නිසි පිළිතුර ලැබෙන්නේ විවහාකරගත් කුමරියගේ රුව එදිනම දකින පිරවැසියන්ගේ හඬ තුළිනි.

" එවැනි රුවක් අප නොදිටිමු"

ඔවුන් ඇයගේ රූපශ්‍රීයෙන් ඇලලී ගොසිනි.එහෙත් පස් වසක් එකම රුව දකින් කුමරුගේ සිත විඩාපත් වී ගොසිනි. අතෘප්තිකර මනු සිතෙහි ස්වභාවය මෙයයි.සහෘද මනස කැලඹෙන්නේ එහි සත්‍ය කවියා විසින් ගැඹුරු කවි සංකල්පනාවක් ලෙසින් නිරූපණය කිරීමෙන් අනතුරුවය.

" එදිනම සවස් කල 

පුරදොර අසලදී

රජ ගෙදර 

දොරටුපල්ලාගෙ දුව 

භද්‍රා කුමරුට හමු විය."

රජ ගෙදර දොරටුපල්ලා යනු සුලබ තැනැත්තෙකි.ඔහුගේ දුව භද්‍රා ද පුරවැසියනට සුලබ තැනැත්තියකි.උදේ සවස ඇයගේ රුව දකින ඔවුනට එය අරුමැසියක් නොවුනද මුල් වරට ඇයගේ රුව දකින කුමරු තුළ පහළ වූයේ අරුමයකි.

" තී කවුරුද 

තිගෙ වැනි රුවක්

 මම කිසි කලක නොදුටිමි"

කුමරුගේ චිත්තාවේගය මෙයයි.ගැහැරින් බලන්නෙකුට මෙය විරෝදාකල්පයක් ලෙස හැඟුනද සත්‍ය එය නොවේ.කුමරුගේ සිතුවිල්ක දෝෂ විරහිතය.මන්ද යත් පුද්ගල මනෝභාවයන් සැමවිටම එකම අයුරින් නොපවතින හෙයිනි.

උත්තම පුරුෂ දෘෂ්ටි කෝණය හා තේමාවට උචිත ලෙස යොදාගත් නිසැදැස් කාව්‍ය ආකෘතිය මනා සංයමයකින් සංකල්පරූප මවමින් පාඨක විමර්ශනයට ලක් කිරීමට ජී .බී.සේනානායකයන් ගත් උත්සහය මෙලෙස සාර්ථ්ක කරගෙන ඇත.



Friday, January 28, 2022

පැරණි හා නූතන කෙටිකතා සාහිත්‍ය

සිංහල නවකතාවෙන් පසු නිර්මාණ සාහිත්‍යයට අලුතින්ම එකතු වූ අංගයක් ලෙස කෙටිකතාව හඳුන්වා දිය හැකිය.පූර්වකාලීනව ලඝු කතා, අමුතු කතා, විනෝදාස්වාද කතා වැනි විවිධ කෙටිකතා බිහි වුනද ඒවා හුදෙක් විනෝදාස්වාදය උදෙසා පමණක් ලියූ ඒවා වේ.ජෝසප් බර්ග් එසන්වීන් නම් විචාරකයාට අනුව කෙටි කතාවක අන්තර්ගත වියයුතු මූලික ලක්ෂණ හතක් ගැන ඔහු විස්තර කරයි.

1.එක් ප්‍රබල සිද්ධියක්

2.එක් ප්‍රබල චරිතයක්

3. පැහැදිලි පරිකල්පනාවක්

4. කථා වින්‍යාසය

5.කතාවේ සංවිධානාත්මක බව

6. සියල්ල එකට කැටි වී තිබීම

7. කතාව එක දිගට ගලා යාම. 

මේ සියලු අංග එකට ගත් කල අපට එය කෙටි කතාවක් ලෙස සරලව පැහැදිලි කල හැකිය.එය වනාහී පූර්ණ නිගමන නොමැති අනවශ්‍ය චරිත හෝ සිද්ධි නොමැති සාමාන්‍ය කතාන්දරයක මෙන් උපදෙස් නොමැති එක් සංක්ෂිප්ත කතන්දරයක් විය යුතුය.මාර්ටින් වික්‍රමසිංහ , කේ.ජයතිලක, ඩබ්.ඒ සිල්වා, ආදී නොයෙකුත් කතා කරුවන්ගේ කෙටිකතා තුළ මෙම ලක්ෂණ එකක් හෝ කිහිපයක් සියුම්ව විමසා බැලීමේදී අපට හහඳුනාගත හැකිය.එවැනි සාහිත්‍ය රසයෙන් අනූන කෙටිකතා පාඨකයා තුළ රසභාව ජනිත කරවන්නට සමත් විය..

නමුත් වර්තමානය වන විට විවිධ සමාජ මාධ්‍යන්ගේ දියුණුවත් සමඟ තවත් කෙටිකතා රැල්ලක් වර්තමානය වන විට නිර්මාණය වෙමින් පවතී.ඒවා හුදෙක් වාණිජකරණයට ලක් වූ ඒවා යයි විටෙක හැඟේ.21 වන සියවසේ ඇතැම් නූතන කෙටිතාකරුවන් තවකෙකු අනුකරණය කරගනිමින් විවිධ අරමුණු තකා මේ කෙටිකතාකරණය සිදු කෙරේ..නමුත් මේවා තුළින් පාඨකයාට නිවැරැදි සාහිත්‍ය රසයක් ලැබෙන්නෙදැයි ගැටලු සහගතය. බොහෝ අවස්ථාවල ඔවුන් වස්තු විෂය කරගනු ලබන්නේ මූලික වශයෙන් ලිංගිකත්වයයි.එය සිය කෙටිකතා ජනතාව අතරට ගෙන යන ඉත්තෙක් බවට පත් කරගෙන ඇත. පැරණි කෙටිකතා සාහිත්‍ය තුළ ප්‍රේමනීය හැඟීම් සිත තුළට කාවද්දා එහි අන්තටය රැගෙන ගිය ලිංගිකත්වය අද වන විට එක් අවියක්ම පමණක් කරගෙනය. මීට අමතරව දිළිඳුකම, ඉහළ පැලැන්තියේ උදවිය ගෙවන සුවපහසු ජීවන රටාව, මුදල් බලය, දේශපාලනය, පාතාලය වැනි එකම ආකාරයේ ආකෘතීන්ට අනුව ලියැවුණු කතා විශාල ප්‍රමාණයක් අපට සයිබරය තුළ දැකගත හැකිය.

නිර්මාණශීලිත්වය වර්ධනය කරගැනීම උදෙසා තාක්ෂණය අතින් දියුණු මෙවන් යුගයක එකී සමාජ මාධ්‍ය යොදාගැනීම ගැටලුවක් නොවේ.නමුදු එකම ආකෘතියක සිරවී අනෙකා අනුකරණය කරමින් අර්ථයක් රහිත කතාකරණයක නියැලීම සුදුසු වන්නේද?සියල්ලෝම කෙටිකතා රචකයෝ නොව කිහිප දෙනෙක් හෝ විචාර බුද්ධියෙන් විමසා බලන්නෝද විය යුතුය. වටිනා සාහිත්‍ය යුගයක හිමිකරුවන් වූ අප එකී කෙටිකතා සාහිත්‍ය ද මතු පරම්පරාවේ විචාරකයන්ටද බුද්ධියෙන් විමසා බැලිය හැකි අග්‍රගන්‍ය නිර්මාකරණයක් බවට පත් කිරීමේ වගකීම දරන්නෝ නොවේද.සාර්ථක යැයි හැඟෙන කෙටිකතාවක අනවශ්‍ය වචනයකුදු ඇතුළත් නොවිය යුතුය.එසේ නම් අර්ථන්විත කෙටිකතා නිර්මාණ ක්‍රියාවලියක ආරම්භය සනිටුහන් කිරීමේ කාර්‍යය අප ආරම්භ කළයුතු නොවේද?

"කිරිගරුඬ මුහුණක් සෑදීමට නම් ඒ මුහුණට අයත් නොවන සෑම කොටසක්ම කිරිගරුඬ පුවරුවෙන් ඉවත් කල යුතුයි"

                        (ඇන්ටන් චෙකෝෆ්)




 




 මාල හතෙන් හැඩ කරලා

හිරු සඳු හිස් මුදුනට කර

පෝරු මස්තකේ තියන්න 

හීන දැක්ක මම

මුතු කුඩ යටින් නුඹ 

පඬු සිවුර ගත දරාගෙන

අනියත බව පසක් කරගෙන ලොව

හතර වරිගයම නිවන් දක්කන්නට

නිසොල්මනේ පෙරමඟ වඩින නුඹ දුටු විට

තැවුල් සඟවන් හිතේ පතුලෙම

මුදුනත් දී නුඹට වැන්දේ

වරම් ඉල්ලන්නට 

නුඹගෙ පාරෙම ගමන් යන්නට

මට වඩා නුඹට 

නිවන ලඟ නිසා දියණිය....










එකම පන්තියෙ පන්ති දෙකක්

















 මඩ පැහැ ගැන්වුනු - දුහුල් සුදු ගවුම

හැට්ට කටුවකින් මැසූ - පරණ පාසල් බෑගය

පිළුණු ගඳ ගහන- රැයේ තම්බපු බතල අලය

රුපියල් පනහකට ගත් මාසික සීසන්පත

Dirty people කියා 

ලෙබල් ගැසූ 

පන්තියේ අවසන් පෙළ

සුදුම සුදු සුදු ගවුම - සුවද හමන රස භෝජන 

දිලිසෙන පා සඟල

රෝද හතරෙන් ගෙනත් බස්සන 

High level ඉදිරි පෙළ

කාසි මිම්මක් කරගෙන

එකම පන්තිය පන්ති දෙකකට බෙදන

විෂම ලෝකයක,

එරෙහි වන්නට සැරසුනත් මම...

ගුරුතුමගෙ රැවුම් සහගත මුවඟ දුටු විට 

නැවත බිමටම බැස්සෙ

බියකට නොව,

නුඹ බෙදන ඒ දැනුම 

දිනෙක හඬ නගන්නට අවැසි හෙයින්

හොරෙන් ඇහිඳන් තබන්නට 

උවමනා වූ නිසාමයි..



















මඟ බලනවා තාම


 සකුරා මල් පිපුණු මාවතේ 
වියපත් හදින්
නුඹ නැතිව
මතක ඇහිඳින...
නුඹෙ සුවඳ තැවරුණ
අපෙ අතීතය
සීත මිදෝරියේ
සැමට ඇසෙන්නට 
හඬ ගා කියන්නද මම ,
පාලුයි නුඹ නැතිව
කබුකි සා සාලාව
පඬු පැහැ ගැන්වුණු 
කිමෝනාව ඇඳ
මඟ බලනවා තවම මම
හැකිනම් එක් වරක් දකින්න
"ඉරෂ්‍යයිමසේ..."
පිළිගන්නම් නුඹව 
සංස්කෘතිය වෙනස් කියා
බිඳ දමා ගියපු හද
සිහින් සේලයකින් හෝ මසන්නට
නුඹට ඇරයුම් කරන 
වියපත්,
නොරිකො සං
 මම..........






Thursday, January 27, 2022

"මළගිය ඇත්තෝ" නව කතාවේ භාෂාව පිළිබඳව කෙටි විමසුමක්


 සාහිත්‍ය කරුවා පාඨකයා සමඟ අදහස් හුවමාරු කරගැනීම උදෙසා භාෂාව උපයෝගි කර ගනී.එයින් නවකතා කරුවෙකුගේ සන්නිවේදන කාර්‍යය අතිශයින් ප්‍රබල වේ. ඔහු තමා තෝරා ගන්නා චරිත වලට ප්‍රමුඛස්ථානයක් ලබා දෙයි. පාඨකයා එකී චරිතයන්ගේ බාහිර වූද අධ්‍යාත්මික වූද රසය විදගන්නේ නවකතාකරුවා උපයෝගී කරග්‍ර්න තිබෙන භාෂාව මූලික කරගෙනය. විශේෂයෙන්ම මෙහිදී නවකතාවේ තේමාවට උචිත වන අයුරින් චරිත හසුරුවා ගැනීම සඳහා භාෂාව අවියක් කරගෙන ඇත.එය අතිශයෝක්තියෙන් බැහැර වූ අව්‍යාජ වූ ප්‍රාණවත් මාධ්‍යක් විය යුතුය.මළගිය ඇත්තෝ නව කතාවේ භාෂාව පිළිබඳව විමසන විට වඩාත් ගම්‍ය වන්නේ තේමාවට, චරිතවලට උචිත ලෙස බස හසුරුවන්නට නවකතාකරුවා සමත්ව ඇතිබවයි.

මෙහි අන්තර්ගත වන්නේ ප්‍රේමය පිළිබඳ වෘතාන්තයකි.ආදර කතාවකි.පෙම්වතුන් අතරින් ගිලිහී යන විරහවද ඔවුන් අතර ජීවය ලබන ප්‍රේමයද ප්‍රේමය මුල් කරගෙන පෙම්වතුන් තුළ හටගන්නා ජීවන ගැටළු ඔවුනොවුන් ඊට මුහුණ දෙන අන්දමද දක්වන ප්‍රතිචාරද නවකතාකරුවා සටහන් කරන්නේ ඒ සියල්ලටම උචිත භාෂවකිනි.මේ නිසා මළගිය ඇත්තෝ නව කතාවේ භාෂාව සොඳුරු හිතවත් බවක් ගනී.

"මේ රටෙහි එළියට බසින මා වහා පිවිසෙන්නේ නොයෙක් වර්ණයන්ගෙන් හා විසිතුරු හැඩයෙන් බබළන ඔඅහන් කූඩු වලින්ද තොරණින් හා උඩුවියනින් ද අලංකාර කරන ලද වේ මඟකටය"

ලංකාව අතහැර දෙවොන්දරා සං ජපානයට යන්නේ බිඳුණු සිතැත්තෙකු ලෙසයි.නමුදු ජපානයේ සුන්දරත්වය දකින ඔහු තුළ ප්‍රීති ප්‍රමෝද්‍යක් ඇති වේ.ඉහත උපුටා ගැනීමේ වචන අතුරින් ඒ බවක් මතු කරන්නට සරත්චන්ද්‍රයක් සමත් වේ.විටෙම නවකතාවේ බස ගලායන්නේ නිරාමිස චිත්ත සුවය වඩන නාද මාලාවක් ලෙසිනි.ජපානයේ සොඳුරු පරිසරයක් තුළ දෙවොන්දරා සංගේ නෙත ගැටෙන ජපන් රූමතියක් දැකීමෙන් ඔහු තුළ පහල වන චිත්තාකර්ෂණය නවකතා බසින් සිතුවමක් සේ අඳින්නට සරත්චන්ද්‍රයන් සමත් වේ.

"ජපානයේ පාරම්පරික ශිෂ්ටාචාරයේ බර තාම උසුලන්නේ ස්ත්‍රීන් යයි මට හැගී ගියේ ය.පැරණි කවීන් කියූ පරිදි සියුමැලි යනදි අත්ත මෙන් නැවී ඔවුහු කෙතරම් ලාලිත්‍යයකින් ඒ බර උසුලත් ද"

පාඨකයා නොදුටු සොඳුරු ජපානය පිළිබඳව සොඳුරු ලදුන් පිළිබඳව නවකතාකරුවා බසින් මනරම් සිතුවම් මවන්නේ මෙලෙසිනි.ඒ තරමටම නවකතාවේ බස සියුමැලිය. අව්‍යාජ ය.මෙවනි සුන්දර නවකතා භාෂාවක් යොදාගන්නා සරත්චන්ද්‍රයන් මනා සංයමයෙන් යුතුව පෙම්වතුන්ගේ විරහව දරාගත් සියුම් සංවාද පවා කෝමළ රේඛාවක් මෙන් ගලපන්නට සමත් වේ. මතු දැක්වෙන්නේ විරහ වදනින් ලියා තැබූ එවන් සොඳුරු සංවාදයකි. 

"යන්න එපා දෙවොන්දරා සං "

නොරිකෝගේ හඬෙහි ඇත්තේ බිඳුණු ස්වරයකි.නවකතා බසෙහි ඇති අපූර්වත්වය මෙයයි.එය වඩාත් ඔපමට්ටම් වන්නේ දෙවොන්දරා ඊට සපයන පිළිවදනෙනි.

"කොහොමද නොගිහින්. මං ඉඳල පලක් නෑනේ.තව කොච්චරකල් මෙහෙම තියෙයිද.කවදා හරි වෙන් වෙන්න වෙනවා.දැන් වෙන් වෙන එක ලේසි නැද්ද"

කෙටි වදනින් නවකතාකරුවා පෙම්වතුන්ගේ බිඳුණු ස්වරය දෙවොන්දරාගේ හදවතින් එළියට ඇද දමන්නේ මෙලෙසිනි.ප්‍ර්‍ර්මයේ සුන්දරත්වය මෙන්ව විරහවේ වේදනාව නවකතාව තුල මෙලෙස ගලා යන්නෙ එහි භාෂවෙන් පාඨක හද තුළ සංවේදීතාවක් ඇතිකරවමිනි.

"අයියට ලියන්න"

"මට ලියනවද"

ඒක බොහොම අමාරුයි"

වදනින් වදන කෙටි වැකි වලින් ගලපා ගන්නේ පෙම්වතුන්ගේ හද තුළ නැගෙන හද ගැස්ම පිටතට ඇසෙන හැඟෙන තරම් සංවේදී ලෙසය. එහි අපූර්වත්වය "සමර්සෙට් මෝන් " න්මැති විචාරකයාගේ මතු දැක්වෙන පසු වදනින් පැහැදිලි වේ.

"නවකතාවක සිද්ධි ඇතුළත් කිරීම ප්‍රවේශමෙන් කල යුතුය.පරිසර වර්ණනා රමණීය විය යුතුය.චරිත නිරූපණ විචිත්‍රවත් විය යුතුය"

මේ ආකාරයට මළගිය ඇත්තෝ නව කතාවේ සුන්දර සුගම ලාලිත්‍යමය භාෂාව තුලින් පැහැදිලි වන්නේ එහි ඇති අපූර්වත්වයයි.කලාත්මක නවකතාවක සියල්ල විනිවිද යන සැබෑ භාෂා ගුණාංග අනූන ලෙස මළගිය ඇත්තෝ නව කතාවේ මෙසේ දැකිය හැකි වේ.


මූලාශ්‍ර - මළගිය ඇත්තෝ, මහාචාර්ය එදිරිවීර  සරත්චන්ද්‍ර

  නිසංසලේ ගං ඉවුරක  බොරළු ඇනෙන පුලින බිමක   සඳ නැග එන එක් යාමෙක  දොඩමළු වූවා මතකද  නුඹත් මමත් පාළු රැයක  ජීවිතයම ළඟින් ඉන්න  දුන් පොරොන්දු අ...