Monday, January 24, 2022

ජී.ඒච් පෙරේරා කිවිදුනගේ " පරළොවට පණිවිඩයක්.. "කාව්‍ය පංතිය පිළිබඳව කෙරෙන සාහිත්‍ය විචාරය

 පරළොවට පණිවිඩයක්..

 "නිගාවකි කළු හමට - නිවටුන්ට පරගැති

 විහිළුවකි හෙළ සිරිත - අමනුන්ට ඔළු නැති

 කලාවකි මුර ගෑම - නොරටුන්ට පරගැති 

විනාශය මෙයයි වූ - සිහලකම දන්නැති"

                                                                                                                                             

      දේශයේ විමුක්තිය නොදැන ජාතියේ පරගැතිභාවයට පිඹුරුපත් සැකසූ නොරටුන් සරාණ ගිය පිටකොඳු බිඳගත් නිවටුන් පිළිබඳ තැබූ සටහනක් ලෙසින් ජී.එච්.පෙරේරා කිවිඳුන් විසින් රචනා කරන ලද " පරළොවට පණිවිඩයක් " පබදුම හඳුන්වා දිය හැකිය.කලු හම නිගාවක් සේ සලකන සුදු හමට ගැතිකම් කරන්නෝ අද මෙන්ම එදාද වූහ.ඉංග්‍රීසි වදනක් මුවග තවරාගත් පමණින්ම ඔවුහු කලු සුද්දෝ වූහ.හෙළ සිරිතට විරිතට බසට ගුණදහම දෙස පිළිකුලින් බැලූ ඔවුහු බටහිර සිරිත සංස්කෘතිය උතුරු සළුවක් කරගත්හ. කවියා පබඳුමට වස්තුවිෂය කරගත්තේ උක්ත කී සමාජ පරිහානියයි.කවියාගේ අරමුණ වූයේ පරලොව සිට මෙදෙස උපදින්නට බලාසිටින උදවියට ගුණදහම් බිඳගත් වල්සිරිත් වැළඳගත් කලු සිංහලයන්ගේ අධිරාජ්‍යවාදී ගැතිකම හාස්‍ය රසයෙන් යුක්තව කියාපෑමයි.

"රට බොහොම අසාරයි ඉන්නවුන්ගෙත් විකාරයි

 පිට ඔපයට සූරයි කම්මැලියි බාරදූරයි

 අටපහ නොම තේරෙයි වල්සිරිත් පාර බේරෙයි 

පිට රටටා වදාරයි කාපු දේවත් වමාරයි"

සිලෝකාව්‍ය ආකෘතියෙන් හැඩගන්වන ලද මෙම කව පරගැතිභාවයේ පලමු සටහන අප හමුවේ තබන්නේ මෙලෙසිනි.රට අසාරත්වය වැළඳගෙන ඇත.මිනිසුන්ගේ විකාර පැවැත්ම පිට ඔපය, අලසකම මේ පරිහානියට මුල් වූ ප්‍රධාන කරුණයි.කවියා උපහාසාත්මකව පහර ගසන්නේ මේ දුසිරිත වැළඳ්ගෙන සුදු හමට වන්දනා කරන නිවට සිංහලයන්ටය. "අට පහ නොම තේරෙයි වල් සිරිත් පාර බේරෙයි " කවියා මෙයින් සංකේතවත් කලේ අටසිල් පන්සිල් නොදැන වල්සිරිත් කරපින්නගෙන  සිල් බඳගත් සිංහලයන්ගේ පරාජිත භාවයයි.."පිට රටටා වදාරයි කාපු දේවත් වමාරයි"  යන කව්‍යෝක්තියෙන් පෙරේරා කිවිඳුන් නිර්ධය ලෙස දේශයේ පරගැතිභාවයට පහර ගසයි.මේ පණිවිඩය ලබා දෙන්නේ පරළොව සිට මෙදෙස උපදින්නට බලා හිඳින අයට වීමෙන් කවියා මතක් කර දෙන්නේ එදා මෙදා තුර දේශීය සංස්කෘතියට අත් වී ඇති හානියේ බරපතළ කමයි.

ජී.එච්.පෙරෙරාගේ කාව්‍ය දෘෂ්ටිය පාඨක විමර්ශනයට කරන ඇරයුමක් වැනිය.පරාදීන බව මුල් කරගෙන ජාතියේ උතුම් බව නසාගත් සිංහල ජාතිය පිළිබඳව කවියා තුළ පහළ වන අපුල සිතුවිල්ල කවි පෙළෙන් මනාව මතු වේ. අතීත වැසියන්ගේ ගත මෙන්ම සිතද උසස් ය. නොරටුන්ට ආවඩමින් බඩ වියත රැක ගන්නා ගෝස්තරවාදී ආකල්ප ඔවුන් තුළ නොවීය.නූතනයේ සියල්ල විපරිතව පිටරටට අනුපාත නිවට නියාලු ගතිය කවියාගේ සිතුවිල්ලට මැනවින් හසුකරගෙන ඇත.

"ගත සිත නැත උස්සා ආදි ඇත්තන් විලස්සා

 එයිනි නොරට වැස්සා ගෙන් හිඟාකෑම රිස්සා

 පුටුව පිටම රස්සා වෙන්ට නම් සී පරිස්සා 

විය යුතුය සුදුස්සා වී මෙහේ එන්න ලිස්සා"

 පෙරේරා කිවිඳුන් සිය උපහාසය හා කවි රසය මනාව හසුරුවා ගනිමින් එය රචනා කරන්නට සමත් වී තිබේ.කවියේ ඉස්මතු වන රිස්සා, උස්සා, වැස්සා, ලිස්සා වැනි අනුප්‍රාසාත්මක යෙදුම් මීට නිදසුන් ය. මෙහිදී කවියා ශබ්ද රසය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. එමෙන්ම ඔහු කවි රසය සමඟ සමාජ දෘෂ්ටියද සෙමින් සෙමින් දිග හරින්නේ අප හද තුළද ජාතියේ පරගැතිභාවය පිළිබඳව සැබෑ කම්පනයක් ජනිත වන ලෙසටය.එදා මෙන්ම අදද සිහල බස, පාලිය,සංස්කෘතිය බැහැර කර විදෙස් බව මුදුන් මල්කඩක් සේ හිසින් දරා සිටිනා අය නැතුවාම නොවේ.පෙරේරා කිවිඳුන්ගේ විරෝධාකල්පය මනා සංයමයකින් යුක්තව කවි සංකල්පනාවක් ලෙසින්  දක්වන්නේ  ඉහත පරිද්දෙනි.

"සිහල බස කමක් නෑ ඒ උගැන්මෙන් පලක් නෑ 

ඉහල ගිය කෙනෙක් නෑ ඉන් සකුත් පාලි කම් නෑ "

කවියා සිය දෘෂ්ටිය වත්මන් සමාජයට ද මුදා හරී.සිහල බස මරන හරි හැටි ඉංග්‍රීසි ද නොදන්න සිංහලයන්ගේ අල්ප බුද්ධිය කවියා උපහාසයට නගයි.

 "සිහල සිරිත දැන්නම් තුට්ටුවක් නෑ වටින්නේ

 කලු හම ලැබුනෝතින් වෙන්නෙ ඔක්කොම පාඩුයි

 ඔළු ගෙඩි බිම ගස්සා කාගෙනුත් ගන්ට පූජා

 හම සුදුවට නැත්තම් සායමක්වත් ගෙනෙල්ලා"

 තුට්ටුවක් යන වචනය ප්‍රස්තුතයට උචිත ලෙස කවියා යොදා ගනී.තුට්ටුව යනු අතීතයේ පැවති අඩු මූල්‍ය වටිනාකමයි.හෙළ සංස්කෘතිය නිවට සිහලුන් අඩු වෙන්දේසියක තබා ඇති බව කවියා පවසන්නෙ මෙපරිද්දෙනි.කලු හම පහත් කොට සැලකූ ඔවුන් සුදු හම උසස් කොට සැලකූහ..මෙය කවියා උපහාසාත්මකව හෙළා දකී.

 පෙරෙරා කිවිඳුන්ගේ මේ සමාජ දෘෂ්ටිය කාලීනව ගැළපෙන කාව්‍යක් ලෙස අගය කල හැකිය.සරල බස් වහරකින් ගැඹුරු සමාජ දෘෂ්ටියක් කියාපාන්නට පෙරෙරා කිවිඳුන් ගත් උත්සහය මෙලෙස සාර්ථක වී ඇත.


No comments:

Post a Comment

  නිසංසලේ ගං ඉවුරක  බොරළු ඇනෙන පුලින බිමක   සඳ නැග එන එක් යාමෙක  දොඩමළු වූවා මතකද  නුඹත් මමත් පාළු රැයක  ජීවිතයම ළඟින් ඉන්න  දුන් පොරොන්දු අ...