Tuesday, January 25, 2022

අධ්‍යාපනය හා සංවර්ධනය



 "කොළඹට කිරි අපට කැකිරි "මෙම කියමන අප කවුරුත් අසා ඇති ප්‍රසිද්ධ ගැමි කටවහරකි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය දෙස බැලීමේදී මෙය හුදෙක් කටවහරට එහා ගිය ගැඹුරු අරුතක් නිරූපණය කරයි. ආධ්‍යාපනය, සෞඛ්‍යය , සන්නිවේදනය , යටිතල පහසුකම් ආදී කුමන අංශයක් ඔස්සේ විමසා බැලීමේදී උක්ත කී කරුණ හුදෙක් කටවහරක්ම පමණක්ම නොවන බව පැහැදිලි වේ. වත්මන් අධ්‍යාපනය ගත් කළ රටේ සෑම දරුවෙක් අතරම සමානව විහිදී ගොස් තිබේද? පිළිතුර වශයෙන් මාගේ මතය නම් නැත යන්නයි. සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා රෝපණය කළ නිදහස් අධ්‍යාපනය නැමති වෘක්ෂයේ අවසන් පත්‍රයද සිඳී යාමට ඇත්තේ ඉතා අල්ප කාලයක් පමණි.ඒ වෙනුවට කුලී අධ්‍යාපන ක්‍රමයක් රෝපණය වී පිලළයක් මෙන් දසත විසිරී අවසානය. ඇති හැකි උදවිය නෑ බෑ නොකියා සිය දරුවා  පෞද්ගලික පන්තියකට හෝ යොමු කර ඉගැන්වීම් කටයුතු කරන යුගයක කුසට නිසි අහරක් නොමැතිව ඉතා කටුක ලෙස අකුරු ඇහිඳින්නට වෙර දරන දරුවන්ද , ආසියාවේ ආස්චර්‍යමත් රටක් ලෙස දේශපාලඥයන් කියනා මේ රට තුළද 21 වන සියවස තුළද නැතුවාම නොවේ..වැඩ කරන ජනතාවට, ඉහළ පාන්තිකයන්ගේ භාෂාවට අනුව පහළ කම්කරු පාන්තිකයන්ට ඔවුන්ගේ දරුවන්ට ඔවුන් සිටින සමාජ තත්ත්වයෙන් හිස එසවීමට රුකුළක් වූ නිදහස් අධ්‍යාපනය වාණිජකරණය නම් වූ බඳුන මත ඉතා අධික මිලකට වෙන්දේසි වන මෙවන් කලෙක එදා වේල සරි කරගන්නා පහළ පාන්තිකයන්ගේ දරුවනට ඔවුන් සොයනා සැපත ලඟා කර ගැනීම කණ කැසිබෑවා විය සිදුරෙන් අහස බලනවාක් මෙන්  ඉතා දුෂ්කර කටයුත්තක් බවට පත්වන දිනය වැඩි ඈතක නොවේ..කලකට හතු පිපෙන්නාක් මෙන් තැනින් තැන ඇතැම් කාලවල ඇසෙන දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යොදවන ලද මුදල් සංචිතවල ගණන් මිනුම්, ඔවුන් සිදුකලා යැයි කියන ඒ අධ්‍යාපනික සංවර්ධනය සැබවින්ම  ඉතා දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශ වල දරුවන්ට උරුම වුණිද?.ඔවුන් ඒ පැවසූ සංවර්ධනය රෝද හතරෙන් ගොස් ගෙයි දොරකඩම බැසිය හැකි ප්‍රදේශ වලට පමණක් සිදු කර තිබීම සාධාරණ ද?

ඔවුන් පැවසූ සංවර්ධනයේ තරම වර්තමානයේ පැන නැඟුණු කොරෝනා වසංගතය හමුවේ අධ්‍යාපන පද්ධතිය මුහුණ පෑ ඉතා දුෂ්කර කාලසීමාව තුළ සැකහැර   දැනගැනීමට අපට හැකිවිය.ලෝකයේ රටවල් 4G,5G,සන්නිවේදන තාක්ෂණය අතික්‍රමණය කර 6G තාක්ෂණය භාවිතය පිළිබඳ අවධානය යොමු කර ඇති යුගයක මෙරට තුළ මාර්ගගත අධ්‍යාපනය හැදෑරීමට අවම වශයෙන් ජංගම දුරකථනයක් හෝ නොමැති දරුවන් කොතෙකුත් සිටියාද? උපාංග තිබුනද ගස් ගල් උඩ නැග අවශ්‍ය සිග්නල් සෙවූ දරුවන් කොතෙකුත් සිටියාද?  දහස් ගණනින් අහිංසක ජනතාවගේ බදු මුදල් වැඩිකර සංවර්ධනය කළා යැයි කියන රටක මෙවන් ප්‍රදේශයක එකදු පහසුකමක්වත් නොමැති වීම හාස්‍යට කරුණකිලක්ෂ ගණනින් මුදල් වියදම් කර වල් බිහිවීමට තැනූ ක්‍රීඩා පිටි, ගරා වැටීමට තැනූ ගුවන් තොටුපොළවල් වෙනුවට ග්‍රාමීය ප්‍රදේශයක අංගසම්පූර්ණ එක පාසලක් නිර්මාණය කළානම් අද වන විට වියතුන් සිය ගණනක් මේ ලක් දිව තුළ බිහිවීමට හැකිවනු ඇතමා අවධාරණය කලේ සංවර්ධනය මුවාවෙන් වැසුණු වසා දැමූ එක් අංශයක තතුවලින් ඉතා සුළු කොටසක් පමණි.නමුත් මෙවන් අක්‍රමිකතා විශාල වශයෙන් ඉතා දීර්ඝ කාලයක සිට රට පාලනය කල උදවිය සුදු හුණු ගා වසා දමා ඇත. අවසාන වශයෙන් විය යුත්තේ මෙයයි. අප දන්නා කාලයක සිට මේ රට සංවර්ධනය වෙමින් පවතින රටකි..එය ඉදිරියටත් එසේම වනු ඇත.එයින් කම් නැත. නමුත් අනිසි සංවර්ධන ක්‍රියාවලින් වෙනුවෙන් යොදවන මුදල් රටේ අනාගත අස්වැන්න වෙනුවෙන් ආයෝජනය කිරීමට හැකිනම් එය මෙතුවක් කල් අසාධාරණයට ලක් වූ දරුවන් වෙනුවෙන් කරන    සමාජ මෙහෙවරකි


(ඡායාරූප උපුටාගැනීම අන්තර්ජාලයෙනි)

1 comment:

  නිසංසලේ ගං ඉවුරක  බොරළු ඇනෙන පුලින බිමක   සඳ නැග එන එක් යාමෙක  දොඩමළු වූවා මතකද  නුඹත් මමත් පාළු රැයක  ජීවිතයම ළඟින් ඉන්න  දුන් පොරොන්දු අ...